Friday, September 1, 2017

පෞරුෂත්වය
මිනිසෙක් තවත් මිනිසෙකුගෙන් වෙනස් වෙන්නේ පෞරුෂත්වය නිසාය. මිනිසා තුළ විවිධ වූ සංකීර්ණ හැසිරීම් රටාවන් දක්නට ලැබේ. මේ සඳහා බාහිර උත්තේජනවලට දක්වන ප්‍රතිචාර බලපානු ලැබේ. මෙසේ පතිචාර දැක්වීමේදී අපගේ සමස්ථ අභ්‍යන්තරික සංවිධානයද කිසියම් දුරකට බලපානු ලැබේ. "පුද්ගල අනන්‍යතාවය තීරණය කරන්නා වූ ආවේනික ගති ලක්ෂණ හා සමස්ථ මනෝකායික රටාවන් එක්තැන් වූ සංවිධානාත්මක හැසිරීම් රටාව පෞරුෂයයි." යනුවෙන් පෞරුෂවය අර්ථකථනය කළ හැකි වුවත් විවිධ මනෝවිද්‍යාඥයින් ඔවුන්ගේ මනෝවිද්‍යා එළඹුම්වලට අනුව පෞරුෂය විග්‍රහ කර තිබේ.
පෞරුෂය පිළිබඳ පැරණිම නිර්වචනය පුද්ගල පෙනුම හෙවත් බාහිර කරුණු ඇසුරින් ඉදිරිපත් වී තිබේ. පුද්ගලයා අන්‍යයන්ට පෙනෙන ආකාරය (භාහිර පෙනුම) පෞරුෂය ලෙස සලකා ඇත. පෞරුෂයේ සංවිධානාත්මක රටාව හා ව්‍යුහාත්මක කරුණු මේ තුලින් විග්‍රහ වන්නේ නැත.
සම්ප්‍රදායික ලෙස බලන විට හොඳ පෞරුෂවයක් ඇත්තේ කටහඩ, උස, මහත හා බාහිර පෙනුම මත බව පිළිගනු ලැබුවත් මනෝවිද්‍යාත්මක අර්ථයෙන් එය බැහැර කිරීමට සිදු වේ. මන්ද කෙතරම් හොඳ බාහිර පෙනුවක් තිබුණත් යම් පුද්ගලයෙකුට කිසියම් ගැටළුවක් විසඳාගත නොහැකි නම් හෝ ගැටළුවකට හෝ කිසියම් අවස්ථාවකට මුහුණ දීමට හැකියාවක් නොමැති නම් හොඳ පෞරුෂයක් තිබිය හැකි බව විශ්වාස කළ හැකි නොවේ. මෙය නිදසුනක් මගින් පැහැදිලි කර ගනිමු. පුද්ගලයින් කිහිපදෙනෙක් වනාන්තරයක ගමන් කරන විට දී අනපේක්ෂිත ලෙස අලියෙකු ඉදිරියට පැමිණි විට එම පුද්ගලයින් දක්වන ප්‍රතිචාරය අධ්‍යයනය කළ හැකිය. සමහරුන් කළබල වී දුවන්නට පුළුවන. සමහරු එසේ කලබල නොවී එම අවස්ථාවට සන්සුන්ව මුහුණ දී අනතුර මඟ හරවා ගත හැකිය. පුද්ගල පෞරුෂය අනුව පුද්ගල ප්‍රතිචාර රටාව තීරණය වේ. එකම උත්තේජනයකට පුද්ගලයින් විවිධ ප්‍රතිචාර දක්වන්නේ පෞරුෂය සංවිධානය වී ඇති ආකාරය අනුවයි. මේ අනුව ඕනෑම කටයුක්තකදී අපගේ සමස්ථ සංවිධානාත්මක රටාව පෞරුෂය ලෙස හඳුනාගත හැකිය. තීරණ ගැනීම, කැමැත්ත හා අකමැත්ත,ආකල්ප, වින්දනයන්, ආවේග, ගැටළු විසඳීම, මුහුණදීම, ලෝකය දෙස බලන ක්‍රමය, යමක් කිරීමේ හැකියාව හා නොහැකියාව, ඉදිරිපත්වීම, ජීවිතය දෙස බලන දෘෂ්ටිය ආදී සංකීර්ණ චර්යාවන් හා ඒ සඳහා ඇති චේතනාවලිය පෞරුෂය ලෙස හඳුනාගත හැකිය.
"උපතේ සිට පුද්ගලයා පරිසරය සමඟත් සමාජය සමඟත් ඇතිකර ගන්නා ප්‍රතික්‍රියාව හේතුකරගෙන උරුමකරගන්නා සමස්ථයත් පුද්ගලයාගේ ප්‍රජානන හැකියාව හේතුකරගෙන උරුමකරගන්නා සමස්ථයත් පෞරුෂය" ලෙස අර්ථ දැක්වේ.  


මේ පොත මිලදීගෙන හොඳින් කියවන්න. 
එවිට පෞරුෂත්වය පිළිබඳව දැනුම ඔබට ලැබෙනවා ඇත.
සහස්‍ර ප්‍රකාශකයෝ, මිල රු.500 යි.


No comments:

Post a Comment